ඉඹුල්පේ ආශ්‍රිත ගම් වල නම් සැදුණු ආකාරය

ඕලුගන්තොට
ඕලුගන්තොට ආසන්නයෙන් පෙනෙන දෙතනගල්ල කඳු යුගලය, රාම රාවණා ඓතිහාසික කථා පුවතේ එක් භූමිකාවකට ද හේතුපාදක වී ඇත.භාරතයේ විසු රාම කුමරුවාණන් සිය සොඳුරිය වන සීතාවන් හා අතීශය පෙමින් වෙලී කල් ගෙවු අතර මෙය නොරිස්සු එවක ලක්දිව රජකළ, රාවණා-සීතාවන් බලෙන් පැහැරගෙන සීතා සිරකර තැබු බවත්, ඓතිහාසික රාම රාවණ යුද්ධයෙන් පැරද පළායන විටදී දුනුශිල්පයේ අතිදක්ෂ රාම කුමරු දෙතනගල හිද සිය දණහිස් ගල්තලය මත තබා හීතලය වැරෙන් මුදාහැර-පැන දුවන රාවණාගේ ගෙල සිඳු බව ජනප්‍රවාදයේ සඳහන්ය.සිඳීගිය රාවණාගේ හිස හා කවන්දරූපය රාක්ෂ හෙලින් හෙවත් වර්තමානයේ රාස්සගලින් වලවේ නදියට වැටී ගඟදිය පහළට ගසාගෙන ගිය බවත් රාවණාගේ ඔලුව ගොඩට ගත් තොට “ඕලුගන්තොට” ලෙසත් ව්‍යවහාරයට ගෙන ඇතැයි බොහෝ දෙනාගේ මතයයි.

කරදියමුල්ල
බළන්ගොඩ ඕලුගන්තොට රෝහල අසලින් ඇති දෙල්ගහතැන්න මාර්ගයේ ගමන් කිරීමෙන් කරදියමුල්ල ප්‍රදේශයට පිවිසිය හැකිය. කුඹුරක තිබු ජල උල්පතකින් ලුණු ජලය (කරදිය) ගැලීමට පටන් ගත් නිසා මෙම ප්‍රදේශයට කරදියමුල්ල යන නම ලැබී ඇත.

පුදුකාටුව
බළන්ගොඩ ,පින්නවල, හැටන් පාරේ යන විට හමුවන ගමකි, පුදුකාටුව . මෙය නව ජනාවාසයක් ලෙස සැලකෙන අතර මෙයට පුදුකාටුව යන දමිල භාෂා නම යෙදී ඇත්තේ අලුත් කැල්ල/කොටස යන අරුත් සපයමිනි.

බොල්තුඹේ දේවාලය
මෙය ප්‍රකට මහත් අනුහස් ඇති සමන් දේවාලයකි. බළන්ගොඩ පින්නවල හරහා හැටන් මාර්ගයෙන් හැරී කි.මි. 5 ක් පමණ ගිය විට බොල්තුඹේ දේවාලයට පිවිසිය හැකිය. මෙම දේවාලයට අයත් කුඹුරුවල බොල් වී හමුවී ඇත්තේ අතක් මිටිකරගත් ප්‍රමාණයක් පමණි. එනම් තිඹක් පමණි. බොල් වී තිඹක් පමණක් හමුවු වෙල්යාය අයත් දේවාලය බොල්තුඹේ දේවාලය ලෙස ප්‍රකට විය.

මුත්තෙට්ටුවේගම
බළන්ගොඩ අලුත්නුවර දේවාලයේ සිට සොරගුණේ දේවාලය දක්වා අප්‍රධාන මාර්ගයක් ඇත. (අදද මෙම මාර්ගය අඩිපාරක් ලෙස පවතී) මෙකි මාර්ගයේ ගමන් කල දේවාල කාර්යය මණ්ඩල සදහා ආහාර සැපයු ගම මුත්තෙට්ටුවේගම ලෙස නම් ලැබී ඇත. කුඹුර වෙත ආහාර ගෙන යාම මුත්තෙට්ටුව ගෙන යාම ලෙස අදද මෙම ප්‍රදේශ වල භාවිතා කරයි.

ගලගම
ගැල් ප්‍රවාහන ක්‍රමය භාවිතා කල කාලයේ හපුතලේ කන්ද තරණය කිරීමට පෙර ගැල් විවේක ගෙන නැවත ගමන් ආරම්භ කිරීම සිරිතක්ව ඇත. මෙසේ විවේක ගෙන ඇත්තේ අද ගලගම යනුවෙන් හඳුන්වන ගම්මානයේය.ගැල් විශාල ප්‍රමාණයක් මෙහි නිරන්තරයෙන් පැවතීම නිසා මෙම ගමට ගැල්ගම යනුවෙන් කියා ඇති අතර වර්ථමානයේ එය ගලගම යනුවෙන් ව්‍යවහාර කෙරේ.

පඹහින්න
පෘතුගීසින් සමගින් යුධ පැවති සමයේ මෙම පෙදෙසට පහරදීමට පෘතුගීසින් පැමිණ ඇත. ඒ අවස්ථාවේ සිංහල සේනාව පෘතුගීසින් ගේ සේනාව තරම් විශාල නොවීය. එබැවින් සිංහල භටයන් ලෙස සකස් කල පඹයින්, සිංහල භටයින් සමඟ කන්ද උඩ තබා ඇත. මෙය දුටු පෘතුගීසින් පරදීම නොකොට ආපසු ගොස් ඇතැයි පැවසේ. අදද මෙම ප්‍රදේශයේ පරංගි කොටුව, පරංගි වල ආදි ස්ථාන පවතී. “හින්න“ යනු කන්ද යන අර්ථය ගෙනේ. පඹයින් සිටි කන්ද පඹහින්න ලෙස නම් ලැබී ඇත.

බෙලිහුල්ඔය
මෙහි නම ලැබීම පිළිබද මත 02 කි. බෙලිහුල්ඔය ආරම්භ වන්නේ බෙලිගෙඩියක් තරම් උල්පතකින් නිසා බෙලිහුල්ඔය ලෙස නම් ලැබිනි. අනෙක් මතයෙන් පැවසෙන්නේ මෙම ඔය ආරම්භ වන්නේ බෙලිගස් වලින් සැදුම් ලත් පෙදෙස වු උල්පත් වලින් බවයි.

කුඹල්ගම
පෙර රජකල වලං, හටිටි ආදී මැටි භාණ්ඩ නිෂ්පාදනය කල ගමකි. එබැවින් කුඹල් රැකියාව කල අය සිටි ගම කුඹල්ගම විය.

උළුපිටිය
අළුත්නුවර දේවාලය ඉදිකිරීමේදී උළු හා ගඩොල් සෑදු ගම උළුපිටිය ලෙස නම් ලැබී ඇත.

එළුගාල
මැද්දේගම රාජධානියේ ජනතාවගේ පාලන අවශ්‍යතා සඳහා වූ එළුවන් ගාල් කර තැබූ එළුගාල ලෙස ව්‍යවහාර වන බැව් පැවසේ. මේ පිළිබද තවත් ජනප්‍රවාදයක් අනුව පෘතුග්‍රීසින් ඔවුන්ගේ ආහාර සදහා වූ එළුවන් ගාල්කර තැබූ ස්ථානය මෙය ලෙස පැවසේ.

ඔලිතැන්න
ඔලි නම් මිනිසුන්ගේ වාස ප්‍රදේශය ඔලි තැන්න ලෙස හදුන්වා ඇත.මේ පිළිබදව තවත් ගැමියන් අතර පවතින මතයක් වන්නේ ඔලි යනුවෙන් බස්වහරේ ආලෝකය හැදින්වීමට යොදා ගන්න බැවින්, හොදින් ආලෝකය වැටෙන ප්‍රදේශය ඔලිතැන්න නම් වී ඇත.

ඕලුගංතොට
රාම – රාවණා යුද්ධය පැවැති අවස්ථාවේ දෙදනගල කන්දේ (‍දෙතනගල ලෙසද හැදින්වේ) සිය දනිස් දෙක තබා වෙරගෙන රාම රජු විද්ද ඊතලයක් වැදුණු රාවණා රජු‍ගේ හිස වලවේ ගඟ අසබඩ වැටුණු ස්ථානය ඕලුගංතොට නම් විය. මෙම යුද්ධ අවස්ථාවේ වැදුනු පහරවල් නිසා පෙට්ටිගල කන්දේ කොටසක් බිදී ගොස් ඇති බවද කියැවේ.
ඕලුගංතොට යන නම සැදුනු අයුරු තවත් ජනකථාවක කියැවෙනුවේ රාවණා රජු හෝ වෙනත් රජ කෙනෙකු බළන්ගොඩ ප්‍රදේශ‍යේ සිටින ඕලුවෝ නම් මුවන් දඩයම් කිරීම සදහා පැමිනි තොටුපෙල ඔලුගංතොට ලෙස හැදින්වෙන බවයි. එහෙත් තවත් මතයක් වන්නේ වලවේ ගග හරහා පාලමක් නොමැති කල ගංදිය හරහා එහා මෙහා යන ඔරු නිසා ඔරුගංතොට යන්න පසුව ඕලුගංතොට වී ඇති බවකි. ඕලු මල් වර්ගය වලවේ ගග අසබඩ මෙම ප්‍රදේශයේ බහුලව අතීතයේ තිබු නිසා ඕලුගංතොට යැයි පැවසු බව තවත් මතයකි.

කන්තිරියන්වෙල
මහවගුරුවල වාසය කරන කනයෝ නම් සතුන් වර්ගයක් වෙයි. තිරියන් යනු හොදට වැඩුණු යන්නයි. එසේ කන්තිරියන්වෙල යන්නෙහි මුල් අදහස වනුයේ හොඳට වැඩුණු කනයන් සිටින වෙල යන්නය.

කරගස්තලාව
අතීතයේ ඇතිවු භීෂණ කාලයකදී ජනතාව කරගස් වල කොල කා ජීවත් වූ නිසා මෙම ප්‍රදේශය කරගස්තලාව නම් විය. තවද ගල්ගතලාව මත කරගස් විශාල වශයෙන් වැවී තිබුණු බැවින් මේ නම ලැබු බවද පැවසේ.

කිරිල්ලවල
අතීතයේ රජ දවසෙහි උල තැබීම නම් දඩුවම් ක්‍රමය තිබි ඇත. කිරිල්ල ගස් උලක් සාදා වැරදි කරවූවන් කිරිල්ල උල මත තැබූ බැවින් මෙම පෙදෙස කිරිල්ල උල නම් විය.

කුඹල්ගම
මෙම ප්‍රදේශයේ කුඹල් වැඩ කරන්නන් ‍බොහෝ සිටි නිසා මේ නම ලැබී ඇති බැවි පැවසේ.

කෙසෙල්කොටුව
මැද්දේගම රාජධානියට අවශ්‍ය කෙසෙල් කැන් ලබා ගනු ලබන ප්‍රදේශය කෙසෙල් කොටුව නම් විය.

ගැරඩි ඇල්ල
‍මෙම දිය ඇල්ල ගැරඩියෙක් ගමන් කරන ආකාරයට ගලා බසින නිසා මෙම නම ලැබී ඇත. තවත් ජනකථාවක කියැවෙනුයේ දෙදනගල කන්දෙන් වැටෙන මෙම ගැරඩි ඇල්ල බුදු හිමිගේ සිරිපා පහස නොලැබීමට වසවර්ති මාරයා විසින් ගැරඩියෙකු මරා දැමූ හෙයින් මෙම දියඇල්ල ආශ්‍රීත ප්‍රදේශයට ගැරඩි ඇල්ල නම ලැබුනු බවයි.

ගුරුබැවිල
කඳු පාමුලක විලක් ඇති හෙයින් ගුරුබැවිල නම් වී ඇත. තවත් මතයක් වන්නේ මෙහි ඇති විලක් අසල සන්නාසියෙකු සිටි නිසා මේ නම ලැබුණු බවයි.

තොටපල්ල
මෙහි තොට නම් රෙදි පිලි ආදී සෝදා පවිත්‍ර කරන ස්ථානය තොටපල්ල නම් වී ඇත.

මැදහින්න
තැනිතලා පෙදෙසක පිහිටි කඳු ගැටයකින් යුත් ගම් පෙදෙස මේ නමින් හැදින්විය.

මුංගස්තැන්න
මුං නැමති ධාන්‍ය වගා කල තැනිතලා පෙදෙස මුංගස්තැන්න නම් විය.

මෙගොඩගම
මේ නම් වෙල්යායකින් මෙහා පැත්තෙන් පිහිටි ගමයි.

මෙගොඩවලේබොඩ
වලවේ ගඟ ආශ්‍රිතව දකුණු පස පිහිටි පෙදෙස වේ.

යටිඅගලේගම
කදු ගැටියේ පාමුලම පිහිටි ගම යටිඅගලේගම විය.

රත්මලවින්න
රත්මල් නැමති ගස් බහුල වශයෙන් වැවී තිබුණු බැවින් මේ නම ලැබී ඇත.

නඵවෙල
රගපෑම, නැටුම් ආදී ශිල්පයන් ප්‍රගුණ කල අයට රජු විසින් ලබා දුන් කුඹුරු සහිත පෙදෙස මේ නමි විය. තවමත් මෙහි ඒ පරම්පරා වල ජනතාව දැකගත හැකිය.

වෙලන්හින්න
වෙලන් ගස් බහුල ලෙස වැවී ඇති බැවින් මේ නම් විය.

සිසිල්ටන්වත්ත
සිසිල්ටන් නැමැත්තාගේ ගෙවත්තක් ආශ්‍රිත පෙදෙස බැවින් මේ නම ලැබී ඇත.

සීලන්අරාව
ඉතා සිහිල් ජලයෙත් යුත් ඇලක් ගලා බැසීම නිසා ගැ‍මියන් මේ ප්‍රදේශයට සීලන්අරාව ලෙස හැදින්වීමට පටන් ගෙන ඇත.

හල්ගහවෙල
හල්ගස් බහුලව වැවී ඇති පෙදෙසක් නිසා‍ මේ නම ලැබී ඇත.

හාතාහේන
හාතාවාරිය වැල් බහුල වශයෙන් වැවී තිබුණු පෙදෙස් නිසා මේ නම ලැබී ඇත.

හෙලනෙල්ලිවල
කඳු සහිත බෑවුම් පෙදෙසක නෙල්ලි ගස් විශාල වශයෙන් වැවී තිබුනු බැවින් මේ නම ලැබී ඇත.

හෙලවත්ත
කඳු මුදුනක පිහිටි වත්ත ආශ්‍රිත පෙදෙසක් නිසා මේ නම ලැබී ඇත.

මැද්දේ ගම
ගම් රාශිය මැද පිහිටි ගම්මානයක් නිසා මැද්දේගම විය.

කොටබෝධිය
අතීතයේ යුද්ධ කාලයේදී මායාදුන්නේ රජුට තාවකාලිනව නැවතීමට පිලිසරණ වූ පෙදෙසට , කලගුණ සැලකීමක් ලෙස ශ්‍රී මහා බෝධි අංකුරයක් පිහිටුවා ඇති පෙදෙසක් නිසා කොටබෝධිය නම් විය.

මැදගෙදරගොඩ
ගම්ප්‍රධානියා සිටි ගෙය මැදට කර අනෙක් ගෙවල් සෑදු නිසා මෙම ගම මැදගෙදරගොඩ නම් විය.

මොරහැල
පැරණි රජුන් දවස මොර ගසක් ආධාර ‍කොට ගෙන මුර ශාලාවක් සාදා තිබූ නිසා මේ නම් විය.

බොරන්ජමුව
රන්වන් පැහැයෙන් ජලය ගලා ඇලක් සහිත වු නිසා මේ නම ලැබී ඇත.

මංඩාවල
මංඩලාකාර වලක ස්භාවයක් ඇති ප්‍රදේශයක් නිසා මේ නම ලැබී ඇත. තවත් මතයක් වන්නේ ‍මේ ප්‍රදේශයේ වැසියන් මංඩා හෙවත් පිගන් භාජන ආදිය සෑදු නිසා මෙලෙස නම් ලැබී ඇති බවයි.

මාමල්ගහ
මෙම ගමේ මීට පෙර විශාල නාමල් තිබුණු නිසා ඒ නම් විය. තවත් මතයක් වන්නේ යකඩ උණු කරන තැනක් ලෙස මෙම පෙදෙස පැවැති හෙයින් එයින් පිටවෙන ගිණි පුපුරු මල් මෙන් නිසා මේ නම් වු බවයි.

මාරතැන්න
මාර ගස් බහුලව තිබූ නිසාත්,තැනිතලා ප්‍රදේශයක වූ නිසාත් මාරතැන්න නම් විය.

මාලිගාගොඩැල්ල
හැම පැත්තෙන්ම ජලයෙන් වට වූ ගොඩබිම් ප්‍රදේශය අතීතයේ මාලිගාවක් තිබූ බව පැවසෙන හෙයින් එම පෙදෙස මාලිගාගොඩැල්ල නම් විය.

දැලිගුරුඅරාව
කලු පාටට හුරු වල මැටි ඇති ප්‍රදේශය මෙලෙස හැදින්වේ.

දෙදනගල / දෙතනගල
නිදා සිටින කාන්තාවකගේ පියවුරු දෙකක් සේ පෙනෙන බැවින් දෙතනගල ලෙසද, රාම රාවණා යුදයේදී රාම විසින් මෙම කදු දෙක මත දෙදන තබා වෙරගෙන රාවණාට දුන්නෙන් විද්ද නිසා දෙදනගල ලෙසද ප්‍රකටව ඇත.

දෙනගම
පෙට්ටියක ආකාරයෙන් පිහිටි කඳු ගැටයක් සහිත පෙදෙසක ඇති ගමකි.

නම්පේරියල්
සුද්දන් විසින් තේ වගා කර ඇති ප්‍රදේශයේ ඉහල කොටස නම්පේරියල් නම් විය.

පස්සරමුල්ල
සරු පස් වලින් යුක්ත වූ නිසා පස් සරු මුල් නම් විය. ඉන්පසු උච්චාරණය පහසුව සඳහා පස්සරමුල්ල නම් විය. තවත් මතක් වන්නේ පාත්‍රයක් තැම්පත් කල මුඵ ප්‍රදේශය අරුතින් පාත්‍රාමුල්ල පස්සරමුල්ල නම් වී තිබේ.

නවන්ගොඩ
රජ දවස කර්මාන්ත නවයක් කල කුල නවයක් විසූ පෙදෙස මෙනම් විය.

පාගල්ඕවිට
යාපා රජු මාලිගාවට ගමන් කල මාර්ගය පාගල්ඕවිට නම් විය. මීට අමතරව තවත් මතයක පැවසෙන්නේ ගල පහල ඕවිට යන අරුතින් පාගල්ඕවිට නම් වු බවයි.

පිඩලිගන්නාවෙල
මැද්දේගම රාජධානිය නිර්මාණයේදී අවශ්‍ය වූ පිඩලි පස් තට්ටු ලබා ගත් වෙල මෙසේ හැදින්වේ.

පින්නවල
මෙම නම ලැබීමට හේතු ලෙස මත කිහිපයක් පවතී.
* පින්න නැමති ගස් බොහෝ තිබූ හෙයින් ද
* පිනි බර ගතිය වැඩි හෙයින්ද
* පුණ්ණවේලු නමින් මුලින් හැදින්වු මෙම ප්‍රදේශයට එ නම ලැබී ඇත්තේ රාවණා හා රාමා අතර වූ දුනු පෙලීම නිසා වු අතර පසුව එය පින්නවල විය.

පුටුපාහින්න
රාවණා රජුට විභීෂණ පිටු පෑ තැන පිටුපාහින්න නම් විය. පසු කලෙක එය පුටුපාහින්න නම් විය. තවද පුටු කකුලක හැඩය ඇති කඳු ගැටය නිසාද මෙම නම ලැබී ඇතැයි විශ්වාස කෙරේ.

පොකුණුගම
අතීතයේ සිට අඵත්නුවර ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ජලය ලබා ගන්නේ මෙම පොකු‍ණ මගිනි. එබැවින් මේ පොකුණ නිසා මෙම ගම පොකුණු ගම විය. තවද මෙම ප්‍රදේශයේ කුඹල්කරුවන් සිටින නිසා ඔවුන් බොහෝ මැටි වලං සාදයි. මෙම වලං සෑදීමට මැටි ගැනීම නිසා පසුව ජලය පිරීමෙන් පොකුණක් මෙන් දිස් වේ.

බුදුන්වෙල
බුද්ධශාසනයේ නඩත්තුව පිනිස පුදන ලද වෙල් යාය ආශ්‍රිත ප්‍රදේශයයි.

යක් කුඹුර
යක් දෙස්සන් වෙනුවෙන් පවරා දුන් කුඹුර නිසා ඒ පෙදෙස මේ නම් විය.

යක්දෙහිගොඩ
අතීතයේ යක්දෙස්සන් ජීවත් වූ පෙදෙස මේ නමින් හැදින්වේ. ඔවුන්ගෙන් පැවත එන්නන් මෙහි වාසය කරයි.

යක්දෙහිවල
මෙම ගමද යක්දෙස්සන් වාසය කරන පෙදෙසකි.

යහෙලකුඹුර
යපස් උණුකර යකඩ හා වානේ සාදා ගත් ප්‍රදේශයට අයත් කුඹුර ආශ්‍රිත ගම යහලේ කුඹුර විය.

රත්රන්අරාව
රන් පතුරු බහුල වශයෙන් හමු වූ දොල පාරකින් සමන්විත පෙදෙසයි.

රාවණාකන්ද
රාස්සගල ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි රාවණා රජුගේ ඔත්තුකරුවන් සිටි ප්‍රදේශය වේ.

වලේබොඩ
වලවේ ගඟ ආශ්‍රිත ජනපදයක් බැවින් මේ නම් විය.

වැලිහරනාව
වලවේ ගඟෙන් වැලි ගොඩ දමන නිසා මේ නම් විය.

විහාරවෙල
විහාරයේ පැවැත්ම වෙනුවෙන් දුන් වෙල්යාය නිසා මේ නම ලැබුනි.

සීලගම
සිසිල් දේශගුණයක් ඇති බැවින් සීතල ගම පසුව සීලගම නම් වී ඇත. තවද මෙහි වු කුඹුර වල සීසාන නිසා හා හීලෝගම පසුව සීලගම වු බවත් පැවැසේ.

සුදුහකුරුකන්ද
අඵත්නුවරට කිතුල් හකුරු සැපයූ අය සිටි පෙදෙස වේ.

සටන්පොල
අඵත්නුවර ආශ්‍රිත රාජධානියක රජවරු භටයන් පුහුණු කල ස්ථානය වේ.

අගලේගම
කඳු බෑවුම් මත පිහිටි ගම අගලේ ගම නම් වේ.

අස්වැද්දුම්ගොඩ
කුඹුරු ගොවිතැන් කරන පෙදෙස වේ.

ඇල්ලරාව
කුඩා දියඇල්ලක් සහිත දියපාරක් ඇති නිසා මේ නම් විය. මෙහිදී ඇල්ල ආරව (ඇල්ල – දියඇල්ල / අරාව- කුඩා දිය පාර) පසුව ඇල්ලරාව නම් වී ඇත.

කොස්වින්න
කොස්ගස් බහුල ප්‍රදේශය කොස් වින්න නම් විය.

ගංගොඩඅරාව
ගම් කිහිපයක එකතුවෙන් යුත් දිය පාරකින් හෙබි පෙදෙස වේ.

ගල්අරාව
ගල බහුල ප්‍රදේශය ඇදි ගිය දියපාර සහිත පෙදෙස ගල් අරාව නම් වේ.

උඩගම
කඳු ගැට ඉහල පිහිටි ගම්පෙදෙස උඩගම නම් වී ඇත.

අටවක්වෙල
අට තැනකින් වක ගැසුනු කුඹුරු යායකින් යුක්ත ප්‍රදේශය අටවක්වෙල නමින් හැදින්වේ. බොල්තුබේ සමන් දේවාලයේ පිරිත් නිලය සදහා වෙන්කල ගමක් වන අතර මෙම ගමේ පිහිටි පංසලේ ඉර හඳ හා දේව රූප සහිත වට අත්තක් කෙටු ගලක් තිබූ බවක් පැවසෙන අතර වර්ථමානයේ එය දක්නට නැත.

අමුපිටිය
පත්තිනි දේවිය වෙනුවෙන් කෙරෙන අංකෙළිය නැමති ක්‍රීඩාව කල පිටිය ආශ්‍රිත ප්‍රදේශය අමුපිටිය ලෙස නම් දරා ඇත.

අමුවතුගොඩ
අමු නමැති ධාන්‍ය වර්ගය වගා කර ඇති වතු තිබු නිසා අමුවතුගොඩ යන නම සෑදි ඇත.

ඉඹුල්පේ
ඉඹුල් ගස් රාශියක් නිසා සෙවන ඇති ප්‍රදේශයක් මේ නම් විය.

උග්ගල් කල්තොට (අඵත්නුවර)
කල්තොට ප්‍රදේශයේ කුඹුරු අස්වැද්දීම සඳහා වලවේ ගගෙන් ජලය ගැනීම නීල මහා යෝධයා ඇලක් කපා තිබේ.ඇල කැපීමේදී මතු වූ ගල කැඩීමට ඔහු රාත්‍රියේම ගිනි මොලවා කතරගම දෙවිටයන්ට යාතිකා කර තිබේ. ඒ ගින්න හේතුවෙන් අඵයම ගල කැඩී උක්කොලයක් එහි රැදීම නිසා උක්ගල් කල්තොට නම සෑදී තිබේ. එම ගින්න හේතුවෙන් උක්කොලය දැවී එය අඵත්නුවර අද දේවාලය ඉදිකර තිබූ විශාල නුග සහිත කැලයකට වැටී එම කැලය දැවීගිය නිසා අඵත්නුවරටද උග්ගල් යන නම් ව්‍යවහාර විය. මෙම ගල කතරගම දෙවිදුන්ගේ අනුහසින් කැඩුණු නිසා නීල මහා යෝධයා විසින් දොලොස් මහා අමුනක කුඹුරක් පූජා කර පුද පූජා පවත්වා ඇත. අදත් මෙම ප්‍රදේශයේ ගොවියෝ උක්ගල් අඵත්නුවර දේවාලයට වී පූජා කරයි. දේව කන්නලව්වකට අනුව දැඩිමුන්ඩදෙවියන් දෙවුන්දර සිට උක් හේනක් දැක ගල් වෙන්නට වරම් දී එම පෙදෙස උග්ගල් අඵත්නුවර ලෙස ප්‍රකට විය.

දම්පිටිය
දංගස් තිබූ තැනිතලා ප්‍රදේශයයි.

දිවුල්මුල්ල
දිවුල්ගස් තිබූ මුඵ පෙදෙසයි.

දෙල්ගහතැන්න
දෙල් ගස් බහුල තැනිතලා පෙදෙසයි

නාවල
නා ගස් බහුල කැලෑද පෙදෙස

නැදුන්ගම
නැදුන් බහුල පෙදෙස

තිත්මඵව
වන ලැහැබ් නිසා අදුරු පෙදෙසකි. තිත්ත නම් වැල් තිබී ඇත.

නිල්ලඹ
නිල් පාටට හුරු පිරිසිදු ජලාශ්‍රයකින් යුත් පෙදෙසයි.

නෙල්ලිවල
නෙල්ලි ගස් බහුලව තිබූ පෙදෙසයි.

පන්දෙණිය
පන් ගස් බහුලව දක්නට දක්නට ලැබු පෙදෙසකි.

පඹගොල්ල
පඹ නැමති වැල් බහුලව වැවී ඇති නිසා මෙනම් විය.

පල්ලෙවෙල
කඳු පාමුල කුඹුරු ආශ්‍රිත පෙදෙසයි

පිටදෙණිය
වැවකින් පිහිටි දෙතිනි පෙදෙස යි

පුවක්ගහඅරාව
පුවක් ගස් බහුල පෙදෙස

බැවිලේගොඩ
බැවිල ගස් බහුල පෙදෙසයි.

බිබිල
දිය බුබුලක් අවට පෙදෙසයි.

බෙල්ලන්කන්ද
ගොඵබෙල්ලෙකු හැඩයටත් බෙල්ලන් බහුල නිසාත් මෙලෙස නම් විය.

ගැට්ටපාන
ගල් කන්දක් අයිනේ පිහිටි ගම

ගැටඅරුඵව
අරඵ ගස් බහුලව තිබූ ප්‍රදේශය මෙසේ හැදින්වේ.

දන්ගස්වෙල
දන්ගස් බහුල කුඹුරු පෙදෙසයි.

තුංකිද
මොදරවල් 03 ක් එකට එකතුවී තුම්මොදර ලෙස නම්ව පසුව තුංකිද ලෙස නම් විය

තෝරවෙලකන්ද
තෝර පැලෑටි බහුල වෙල් වලින් යුත් කදුකර පෙදෙසයි.

මොරහැල
පැරැණි රජුන් දවස තිබුන මුරශාලාවක් නිසා මේ නම ඇති වී යයි පැවසේ . තවද මොර ගහක් මුලික කර ගෙන ඒ වටා තිබුණු හැල නම් වු විශාල වගුරු බිම නිසා මොරහැල වු බවත් කියති. වර්ථමා‍නයේදීත් මේ මොර ගසේ අතු පසට යට වී නො දිරා පවත්නා බවත් කුඹුරු වැඩ කරන විට මේ ගසේ අතු පය ගැටෙන බවත් ගොවිහු කියති.

මුත්තෙට්ටුගම
පැරැණි රජුන් දවස රාජ ප්‍රසාද වශයෙන් යම් යම් අයට නින්දගම් , මුත්තෙට්ටු ප්‍රදානය කළ බවත් එහෙයින් මෙම නම ලැබි ඇතැයි මතයක් ඇත. තවද හල්දුම්මුල්ල සොරගුණේ කුඩා කතරගම දේවාලය වෙත යන සේවා පිරිස් සදහා ආහාර ලබා දුන් ප්‍රදේශය නිසා මේ නම පටබැදි බැවි පැවසේ. මුත්තෙට්ටුගම සිට සොරගුණේ කුඩා කතරගම දේවාලය වෙත පයින්ම ගමන් කල හැකි අප්‍රකට මාර්ගයක් වර්තමානයේදීත් පවතී.

අළුත් නුවර
විමලධර්ම සූරිය මහ රජු සේනාව පිරිවරා මැදගම දේවාලය අසලින් යන විට ශංඛනාදයක් අසා මවිතයට පත්ව ඒ කුමක්දැයි ඇසීලු. බ්‍රාහ්මණ වංශික නාරායණ අප්පුහාමි මැදගම දේවාලයේ කන්ද ස්වාමින්ට කෙරෙන තේවාව බව ඇසු රජු රන් පණම් පොදියක් බාර වී ඕපනායක හුණුවල වෙලේ දී කඳවුරු බැඳ සීතාවක රජු හා සටන් කොට තුන් වෙනි වතාවටත් ජය ගෙන යද්දි බෙල්ලෙහි සොරවියල් ගෙඩියක් හට ගත්තෙලු. එයින් පීඩිත වු රජු මැදගම දේවාලයට පඩුරු වශයෙන් අඵත් නුවරක් කරවා දේවාලයක් තැන වු බව අඵත් නුවර දේවාල ලේකම් මිටිය සදහන් කරයි.


කිංචිගුණේ
අළුත් නුවර දේවාලයක් කිරිමට බාර හාර වි මඳ දුරක් ගිය රජුට තරමක සුවයක් ලද නිසා “කිසියම් ගුණයක් ඇත” යන තේරුමින් කිංචිගුණේ යන නම තබා ඒ ප්‍රදේශය ද කඳ කුමරුන්ට පීදී යැයි මතයකි.

හොරගුණේ
මේ ප්‍රදේශයේදි ස්වර වියල් ගෙඩිය සම්පුර්ණයෙන් යුව වු නිසා ස්වර ගුණේ යන්න සොරගුණේ යනුවෙන්ද පසුව හොරගුණේ යයි නම් තැබී ඇති බැව් අඵත් නුවර දේවාල ලේකම් මිටිය සදහන් කරයි.